News & Events

 

ශ්‍රී ලංකා හෝටල් සංගමයෙන් සත්කාරකත්ව සමුළුවක්

18-06-18

සත්කාරක ක්ෂේත්රයේ අසීමිත අවස්ථාවන් හඳුන්වාදෙමින් සාර්ථක හෙට දිනක් උදෙසා බිහි වූ සංවාද මණ්ඩපයකි

2018 ජූලි 05 කොළඹ: ශ‍්‍රී ලංකා හෝටල් සංගමය (The Hotels Association of Sri Lanka - THASL), අධ්යාපන අමාත්යංශය සහ ෂැංග්රි-ලා හෝටලය එක්වී, මෙරට විදුහල්පතිවරුන් වෙනුවෙන් ‘Hospitality Conclave’ නමින් විශේෂ සත්කාරකත්ව සමුළුවක් 'Shangri-La Ballroom' ශාලාවේදී පවත්වන ලදී. මෙරට තාක්ෂණ විෂයන් උගන්වන පාසල් වල විදුහල්පති වරුන් ඇතුළුව පාසල් 200 ක පමණ විදුහල්පතිවරු මීට සහභාගී වූහ. මෙහිදී ශ්රී ලංකාවේ සිසු සිසුවියන් තුළ රැකියා සඳහා සුදුසු කුසලතා නිර්මාණය කිරීමේ වැදගත්කම සහ හෝටල් ක්ෂේත්රය තුළ තරුණ පරපුරට ඇති පුළුල් රැකියා අවස්ථාවන් සම්බන්ධ සංවාද දෙකක් පැවැත්විණි.

මෙරට තුන්වැනියට වැඩිම විදේශ ආදායම් රැගෙන එන සහ දෙවැනියට වැඩිම ශුද්ධ විදේශ විනිමයක් උපයන ක්ෂේත්රය වන සංචාරක ක්ෂේත්රය මෙරට තුළ සෘජු හා වක්ර රැකියා අවස්ථා රාශියක් නිර්මාණය කිරීමට උපකාරී වී තිබේ. එහෙත් මෙම ක්ෂේත්රය තුළ පවතින වෘත්තීය අවස්ථාවන් ගැන මෙරට තරුණ පරපුර තවමත් ප්රමාණවත් තරම් දැනුවත් වී නොමැත. එම නිසා දක්ෂතා සහිත තරුණ තරුණියන් සංචාරක ක්ෂේත්රය වෙත ආකර්ෂණය කරගනිමින් ඔවුන්ට එහි ප්රතිලාභ ලැබීම සඳහා අවස්ථාව සලසා දීම එක්තරා ආකාරයක අභියෝගයක් බවට පත්වී තිබේ.

මෙම අභියෝගයට විසඳුම් සෙවීමේ පියවරක් වශයෙන්, මෙරට හෝටල් ක්ෂේත්රයේ ප්රමුඛතම සංවිධානය වන ශ්රී ලංකා හෝටල් සංගමය, තරුණ පරපුර ක්ෂේත්රයට ආකර්ෂණය කරගැනීමට සහ ක්ෂේත්රය තුළ පවතින අවස්ථා සම්බන්ධයෙන් මෙරට ජනතාව දැනුවත් කිරීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

එහි පළමු පියවර වශයෙන් 2017 වසරේදීි ‘Rising Stars of Hospitality 2017’ නමින් තරඟාවලියක් සංවිධානය කරන ලදි. මෙහිදී කාණ්ඩ නවයක් යටතේ හෝටල් ක්ෂේත්රයේ තරුණ තරුණියන්ගේ දක්ෂතා ඇගයීමට ලක්කිරීම සිදුකෙරිණි. දිවයිනේ හෝටල් 200 කට අධික සංඛ්යාවක් නියෝජනය කරමින් තරුණ තරුණියන් දහස් ගණනක් මෙම තරඟාවලියට සහභාගී වූ අතර, එහි සම්මාන ප්රදානෝත්සවය පසුගිය ඔක්තෝබර් මාසයේදී පවත්වන ලදි.

හෝටල් හා සත්කාරක සේවා ක්ෂේත්රය මෙරට පාසල් විෂය මාලාවට ඇතුළත් කොට ඒ සම්බන්ධයෙන් අනාගත පරපුර තුළ දැනුම වර්ධනය කිරීම ඉලක්ක කරගෙන‘Hospitality Conclave’ හි දෙවෙනි අදියර තුළදී පුළුල් සංවාදයක් පවත්වන ලදි. මෙම අදියරට දිවයින පුරා පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන් 200 කට අධික පිරිසක් සහභාගී වූ අතර මෙහිදීද සත්කාරක සේවා ක්ෂේත්රය තුළ පවත්නා රැකියා අවස්ථාවන් ඇතුළුව බොහෝ පැතිමානයන් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එහිදී සභාව අමතමින් ශ්රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා මෙසේ පැවසීය, ‘තරුණ පරපුර සත්කාරක ක්ෂේත්රය කෙරෙහි නැඹුරු කිරීමේ අරමුණින් අප විසින් සංවිධානය කළ වැඩසටහන් අතුරින් අති සාර්ථකම වැඩපිළිවෙළ ලෙස මෙම අවස්ථාව හැඳින්වීමට පුළුවන්. ශ්රී ලංකා හෝටල් සංගමයේ සභාපති වශයෙන්, පාසල් ළමුන්ට ඔවුන්ගේ පාසල් නිවාඩු සමයේදී සීමාවාසික පුහුණු වැඩසටහන් තම තමන්ගේ හෝටල් වල ආරම්භ කරන ලෙස මෙරට සිටින සියළුම හෝටල් හිමිකරුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා. මෙමඟින් සංචාරක ක්ෂේත්රය පිළිබඳව මනා අවබෝධයක් ඔවුනට කුඩා කල සිටම ලබා ගත හැකි වේවි.’

‘පාසල් ළමුන්ට කලින් කල හෝටල් නැරඹීමේ අවස්ථාවන් විවෘත කිරීමට මෙන්ම එහිදී ළමුන්ට හෝටල් ක්රියාකාරකම් සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබා දීමට ද එම හෝටල් විසින් කටයුතු කළ යුතුය. මෙය තරුණ පරපුර ඉදිරියේදී සත්කාකරක ක්ෂේත්රයේ රැකියා අවස්ථාවන් වෙත යොමු කිරීමට ගන්නා ලද අනගි වෑයමක් වන බව නොඅනුමානය. තවද 6 ශ්රේණිය හා ඉන් ඉහළ පාසල් විෂය නිර්දේශයන්ට සංචාරක කර්මාන්තය විෂයක් ලෙස ඇතුළු කිරීමට හැකි ඉක්මණින් අවධානය යොමු කරන මෙන් රජයෙන් සහ අධ්යාපන අමාත්යාංශයෙන් අප විශේෂ ඉල්ලීමක් කිරීමට ද කැමැතියි,’ යනුවෙන් තවදුරටත් අදහස් දක්වමින් උක්වත්ත මහතා පැවසුවේය.

මෙම වැඩසටහනේ පළමු සැසිය තුළදී ‘පාසලෙන් රැකියාවට: කුසලතා පිරිපුන් ශ්රී ලාංකික තරුණ පරපුරක් බිහිකිරීම’ සහ ‘සත්කාරක ක්ෂේත්රය තුළින් තරුණ පරපුරට සාර්ථක හෙටක්’ යන මාතෘකා යටතේ සංවාද සැසි දෙකක් පැවැත්විණි. පළමු සැසියේ සංවාද මණ්ඩප විද්වතුන් ලෙස අධ්යාපන අමාත්යාංශයේ අතිරේක ලේකම් වයි. ඒ. එන්. ඞී. යාපා මහතා, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්යාංශයේ අධ්යක්ෂ මංජුල විදානපතිරණ මහතා, ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කාවන් රත්නායක මහතා සහ ශ්රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති සුනිල් දිසානායක මහතා ද සහභාගී වූහ. එහිදී, සත්කාරක ක්ෂේත්රය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම ඇතුළුව කුසලතා පදනම් කරගත් අධ්යාපන ක්රමයක වැදගත්කම, කුසලතා සංවර්ධනයේ අභියෝග හඳුනාගැනීම සහ උසස් අධ්යාපනය සහ වෘත්තීය පුහුණුව අතර ඇති පරතරය පියවීම වැනි මාතෘකා රැසක් සාකච්ඡා කෙරිණි.

දෙවන සැසිවාරයේදී පැවති සංවාදය මණ්ඩපයට Luxury Villas and Hotel Management හි සභාපති සහ ශ්රී ලංකා හෝටල් සංගමයේ හිටපු සභාපති අනුර ලොකුහෙට්ටි මහතා, ජාතික අධ්යාපන ආයතනයේ තාක්ෂණ අධ්යාපන අංශයේ අධ්යක්ෂ එන්. ටී. කේ. ලොකුලියන මහතා, ශ්රී ලංකා හෝටල් සංගමයේ හිටපු සභාපති ශ්රීලාල් මිත්තපාල මහතා, ජෙට්වින් බ්ලූ හි අධ්යක්ෂ/සාමාන්යාධිකාරී හයසින්ත් ගුණවර්ධන මහත්මිය සහ සූපවේදී දේශබන්දු ආචාර්ය පබිලිස් සිල්වා මහතා යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. සංචාරක දේශයක් ලෙස ශ්රී ලංකාවේ වැදගත්කම, තරුණ පරපුරට සාර්ථක වෘත්තීය ජීවිතයක් උදාකර දීම සඳහා පාසල් සතු වගකීම, තරුණ පරපුරට සිය වෘත්තීය තුළ ඉදිරියට යාමට ඇති අවස්ථා සහ හෝටල් ක්ෂේත්රයේ කාන්තාවන්ට පවතින අවස්ථා ආදිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡුාවට බඳුන් විය.

ශ්රී ලංකාව ලොව ප්රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ජනප්රිය කරවා 2020 වසර වනවිට සංචාරක ක්ෂේත්රය මෙරට ප්රධානතම විදේශ විනිමය උපයන ක්ෂේත්රය බවට පත්කිරීම ශ්රී ලංකා හෝටල් සංගමයේ මූලික ඉලක්කය වී ඇත. ඒ වෙනුවෙන් ඉදිරියේදී තවත් වැඩසටහන් රාශියක් දියත් කිරීමට එම සංගමය බලාපොරොත්තු වෙයි.





















- අවසානයි -